ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගවලින් ජාත්‍යයන්තර ක්‍රිකට්වලට වන බලපෑම මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් වෙනස්කම් දෙකක් හඳුන්වා දීමට සූදානම් වන බව වාර්තා වේ. ෆ්‍රැන්චයිස් ලීගයක් සඳහා අත්සන් කළ හැකි විදේශීය ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමද ඊට ඇතුළත්ය.

එක්සත් රාජධානියේ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට විදේශීය ක්‍රීඩකයන් සංඛ්‍යාව සීමා කිරීමට අමතරව, ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගවලට යන සෑම ක්‍රීඩකයෙකුම ඔවුන්ගේ රටේ ක්‍රිකට් ආයතනයට ගෙවීමක් සිදුකරන ලෙසට සීමාවක් පැනවීමට නියිමිත බව වාර්තා වේ.

අයි.සී.සී.ය මගින් ලීග් තරගයක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11දෙනා සඳහා විදේශීය ක්‍රීඩකයන් හතර දෙනෙකුගේ සීමාවක් පැනවීමට අදහස් කරන අතර, එම සීමාව දැනටමත් ක්‍රියාත්මක වන ඉන්දීය ප්‍රිමියර් ලීග් සහ ලංකා ප්‍රිමියර් ලීග් වැනි දැනට පවතින බොහෝ ලීගවලට එය බලපාන්නේ නැත.

කෙසේ වෙතත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලීග් තරගාවලියට බලපානු ඇත. එම ලීගයේ කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයන් නව දෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දේ. එමෙන්ම එක්සත් ජනපදය ආරම්භ කිරීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11දෙනා අතරට විදේශීය ක්‍රීඩකයන් 06 දෙනෙකුට ක්‍රීඩා කිරීමේ ඉඩ ලබාදීමට නියමිතය.

අනෙක් වෙනස නම් ෆ්‍රැන්චයිස් ලීගයන් විසින් එක් එක් ක්‍රීඩකයාට ගෙවන ගාස්තුවෙන් සියයට 10ක් සිය රටේ ක්‍රීඩා ආයතනයට ලබා දිය යුතුය යන්න සීමාවයි. එය දැනටමත් ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ ක්‍රියාත්මක විධිවිධානයකි.

ෆ්‍රැන්චයිස් ලීගයන් සඳහා ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාවන් සීමා කරන මෙම වෙනස්කම් මගින් ක්‍රීඩකයන් ෆ්‍රැන්චයිස් ලීග ක්‍රීඩා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම වැළැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වේ