අස්වැසුමේ පළමු වාරිකය ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 5ක් බැංකු වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.

පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා මාසයේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර ඇති වන ප්‍රමාදයන් ද එමඟින් අවම වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් නව ක්‍රමවේදයට අනුව ගිණුම් විශාල ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු එකවර සිදු කිරීමේ දී බැංකුවල පවතින පරිගණක පද්ධතිවල යම් ප්‍රමාදයක් ඇති විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේ වුවහොත් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත වාරික මුදල් බැරවීමේ යම් ප්‍රමාදයක් සිදු වනු ඇත.

පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන අතර ඊට අවශ්‍ය සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සතියේ දිනවල උදෑසන 9 සිට පස්වරු 4 දක්වා 1924 අංකයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇමතීමෙන් අදාළ පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවත්
කිසියම් නුසුදුසු පවුලක් අදාළ දීමනා ලබා ගෙන ඇති බව තහවුරු වුව හොත් එම මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.