අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විටත් එම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කර ඇති බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.

කෙසේවෙතත් හෙට (05) දිනයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කරනු ඇත.

සමාජ සේවා වනිතා කටයුතු සහ සෞඛ්‍ය යන අමාත්‍යාංශවලින් අනුමත කර ලබාගෙන ඇති නාමලේඛන කිසිදු සංශෝධනයකට භාජනය නොකර අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව මේ දක්වා ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා හිමි වූ කිසිදු පුද්ගලයෙකුට අස්වැසුම වැඩසටහන යටතේ අදාළ දීමනා කප්පාදු කිරීමකින් තොරව ලබාදෙන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය පවසා ඇත.

එම පුද්ගලයින් සඳහා ලබාදෙන දීමනා පිළිබඳ අලුතින් අයදුම්කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පවරා ඇති බව ද සඳහන්ය.