දැනට තේරී පත් වී ඇති ලක්ෂ 15ක් අතරින් අස්වැසුම ප්‍රතිලාභීන්ගේ නිවැරදිව තොරතුරු තහවුරු කර ගෙන ඇති ප්‍රතිලාභී පවුල් ලක්ෂ 8ක් සදහා අවශ්‍ය මුදල් අද (අගෝ. 28) දින මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත බැර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.

ඒ අනුව, අඟහරුවාදා හෝ බදාදා වන විට අදාළ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත සිය ජූලි මස වාරියක ලැබෙනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.

ප්‍රතිලාභ ලැබීම සඳහා තේරීපත්ව එහෙත් බැංකු ගිණුම් ආරම්භ කිරීම ඇතුළු ගෙවීමට අදාළ මූලික අවශතා සපුරා නොමැති ප්‍රතිලාභි පවුල් ඒව කඩිනමින් සපුරාලීමේ අවශ්‍යතාව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

දැනට ලැබී ඇති ලක්ෂ දහයක් පමණ වන අභියාචනා සහ එක් ලක්ෂ විසි දහසක් පමණ වන විරෝධතා සමාලෝචනය ආරම්භ වී ඇති බවත් එම කටයුතු අවසන් වූ වහා ම අදාළ ගෙවීම් සිදු කරන බවත් ඔහු පවසා ඇත.

කිසියම් පවුල් ඒකකයක් සාවද්‍ය තොරතුරු ලබා දී ප්‍රතිලාභ ලබා ගත හොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර ලබා ගත් මුදල් නැවත අය කර ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.