\

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 02ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් විය.

බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 393ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවීය.

එහිදී එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු118ක් රැස් කළ අතර, සැක් ක්‍රව්ලි සහ ජොනී බෙයාර්ස්ටෝ අර්ධ ශතකරැස් කළහ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නෙතන් ලයන් කඩුලු 04ක් සහ ජෝෂ් හේසල්වුඩ් කඩුලු 02ක් බිඳ හෙළීය.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රෙලියාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 386ක් පමණි. එහිදී ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් උස්මාන් කවාජා ලකුණු 141ක් වාර්තා කළ අතර, ඇලෙක්ස් කේරි සහ ට්‍රැවිස් හෙඩ් අර්ධ ශතක රැස් කළහ. එංගලන්තය වෙනුවෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ඔලී රොබින්සන් කඩුලු 03 බැගින් දවාගත්හ.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 07ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තයට සිය දෙවන ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 273ක් පමණි.

අනතුරුව ලකුණු 281ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම කඩුලු 08ක් දැවී තිබියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. එහිදී පළමු ඉනිමේදී මෙන්ම පිත්තෙන් සාර්ථක වූ උස්මාන් කවාජා ලකුණු 65ක් රැස් කළ අතර, සිය ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූ නායක පැට්කමින්ස් ලකුණු 44ක් රැස් කළේ නේතන් ලයන් සමග එක්වී 09වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබඳතාවක් ගොඩනගමිනි.

තරගයේ වීරයා සම්මානය ඉනිම් දෙකේදීම පිත්තෙන් දස්කම් දැක්වූ උස්මාන් කවාජාට හිමි විය.