මෙම වසර අවසන් වන විට ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික ස්ථානයන්හි සූර්යය බල පද්ධති සවිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී බිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙම ඉන්දීය මුල්‍ය ප්‍රදාන ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධස්ථාන 2000ක් පමණ ආවරණය කිරීමට නියමිත ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ බෞද්ධ විහාරස්ථාන සහ සියලුම ආගම්හි  ඉගැන්වීම් මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියාත්මක වන ආයතන සඳහා ව්‍යාපෘතිය යටතේ සහන සැපයීම සිදුකල යුතු බවත්, බිමමත සවිකරනු ලබන (Ground Mounted) සුර්යය පැනල පද්ධතියක ඇති වැඩි වාසි සලකාබලා ඒ මඟින් උපයන විදුලිය, ජාතික පද්ධතියට ලබාදී ආගමික ස්ථානයන්හි  විදුලි පරිභෝජනය සඳහා යම් සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

ශ්‍රී පාදස්ථානයේ උඩමළුව හැරුණු කොට වන්දනාමාන කිරීමට පැමිණෙන මාවත සහ අනෙකුත් ස්ථාන සඳහා සුර්යය විදුලිබලය මඟින් විදුලිය ලබාදීමට ක්‍රමවේදයක් සකසන බවත්, කතරගම පුජාභූමිය වැනි පුජා ස්ථාන සඳහා ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ සහන සැපයීමට කටයුතු කරනවා.