ආණ්ඩුව මොන පක්ෂයක මොන පාටක උනත් රජය බෞද්ධ දර්ශන සුරැකිය යුතුයි. බෞද්ධ දර්ශනය සුරකිනවා කියන්නේ ධර්මය සහ ඊට අනුශාංශික වෙච්ච සියලු කරුණු සුරැකීම යැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (31) සඳහන් කළේ ය.

දිඹුලාගල ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයට අයත් ඉපැරැණි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිස්තාපන පුණ්‍යෝත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පැවැසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේද සඳහන් කළේ ය.

මේ රටේ වැලි කැටයක් ගානේ පුරාවස්තු තියෙනවා. අපි ඉන්නේ එහෙම රටක. නමුත් මේ පුරාවස්තු ආරක්ෂා කරගන්න අපට තියෙන සම්පත් හරිම අඩුයි.කොතරම් අපහසුකම් තිබුණත් අප ඒවා රැක ගන්න ආරක්ෂා කරගන්න අධිෂ්ඨානයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. මේ සියළු උරුමයන් අනාගත පරපුරට උරුම කර දෙන්න මහා සංඝරත්නය, නිලධාරීන්, මහජනතාව ආදී මේ සියලුදෙනාගෙම සහයෝගය අපට අවශ්‍යයි.

අපි අලුතින් පනතක් හදනවා.අලුත් පනත තුළින් අපි පුරාවිද්‍යා නීති තව තවත් ශක්තිමත් කරන්න කටයුතු කරනවා.මේ දේවල් තුළින් අනාගත පරපුරට හැඟීමක් ඇති කළ යුතුයි අපේ රට ගැන අපේ උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව.මේ අතීත ශ්‍රී විභූතිය රැක ගන්න රටේ සියලු පුරවැසින්ට ඉතා කැපවීමෙන් කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

නිදන් සොරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් මීට වසර ගණනාවක සිට විනාශ මුඛයට යමින් පැවැති දිඹුලාගල ඓතිහාසික කන්දේගම ධනංජය රජමහා විහාරයේ පිහිටා ඇති වසර එක්දහස් පන්සියයකට වඩා පැරණි සැතපෙන බුදු පිළිම වහන්සේගේ නේත්‍රා තැබීම සහ ප්‍රතිසංස්කරණ කර නැවත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

වර්තමාන විහාරාධිපති, ආචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීමෙන් පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය දායකත්වයෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් මෙම පිළිම වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව ව්‍යාපෘතිය මඟින් 2020 වර්ෂයේ කැණීම් කොට මෙම සැතපෙන පිළිමය පාදාගන්නා ලද අතර අද වන විට එය සැදැහැවතුන් සඳහා වන්දනාමාන කිරීමට ප්‍රතිසංස්කරණ කර තිබේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ,පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ