20වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (06) දිනයේ පැවැති තරගවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෙටිදුර ධාවන ක්‍රීඩිකා දිනාරා බණ්ඩාර සහ උස පැනීමේ ක්‍රීඩිකා පෙහන්සා ගමගේ තරග බිමට පිවිසියා.

දිනාරා බණ්ඩාර බාලිකා මීටර් 200 ධාවන ඉසව්වේ පළමු මූලික වටයේ තරගයට සහභාගි වූ අතර, ඇය එම ඉසව්ව තත්පර 24.93ක කාලයකින් අවසන් කළේ පස්වැන්නා ලෙසයි.

ඒ අනුව ඇයට ඉදිරි තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

උස පැනීමේ ක්‍රීඩිකා පෙහන්සාද ඊයේ තරග බිමට පිවිසි අතර ඇය මීටර් 1.60ක උසක් වාර්තා කරමින් තරගය 12වැන්නා ලෙස අවසන් කළා.

ඒ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ තරග සියල්ල ඊයේ දිනයෙන් අවසන් විය.

තරගාවලියේ වැඩි අවධානය දිනාගත් ක්‍රීඩිකාව බවට පත් වෙමින් තරුෂි කරුණාරත්න රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණේ එම දස්කම පෑ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වෙමිනි.

 

කවිඳු කාරියවසම්