ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයේ තරගයෙන් පකිස්තාන කාන්තා කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්තාන කණ්ඩායමට ලබා දුන්නේය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 75ක් පමණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 03ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 02ක් බිඳහෙළීය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.3 අවසානයේ ලකුණු 77ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් සහ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 18ක් රැස් කළහ.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් තරගය හෙට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වේ