ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 19ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය. ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවටත්, රිදී පදක්කම ශ්‍රී ලංකාවටත් හිමි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 116ක් රැස් කළහ. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්මිත්‍රි මන්දනා ලකුණු 46ක් සහ ජෙමිමා රොඩ්‍රිගූස් ලකුණු 42ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුගන්ධිකා සහ උදේෂිකා කඩුලු 02ක බැගින් බිඳහෙළීය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 97ක් පමණි. එහිදී හසිනි පෙරේරා ලකුණු 25ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් රැස් කළහ. පන්දු යැවීමේදී ටිටාස් සාදු කඩුලු 03ක් බිඳහෙළීය.