2023 ආසියානු කුසලාන තරඟාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් 02වැනිදා මහනුවරදී පැවැත්වීමට නියමිතය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් මුලින් සැලසුම් කරන ලද දිනයට වඩා දිනකට පෙර එනම් අගෝස්තු 30වැනිදා මෙම තරඟාවලිය ආරම්භ වේ. තරගාවලියේ ආරම්භක තරගය මුල්තාන්හිදී පැවැත්වෙන අතර එහිදී සත්කාරක පාකිස්තානය, නේපාලය සමඟ තරග වදින බව ESPN වාර්තා කරයි. ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 17වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් ACC විසින් අවසාන තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර කෙටුම්පත් කාලසටහන තවදුරටත් වෙනස්කම්වලට භාජනය විය හැක. මෙම ආකෘතිය යටතේ රටවල් 06ක් සහභාගි වන තරගාවලියට පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරනු ලබයි.

තරගාවලිය මුළු තරග 13කින් සමන්විත වන අතර, ඒ සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වේ. ඉන්දියාව සහ නේපාලය සමග පාකිස්තානය A කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය B කාණ්ඩයට ඇතුළත් වේ.

කවිඳු කාරියවසම්