ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 වටයේ තරග පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ කොළඹට මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙනි.

තරගාවලියේ සුපිරි 04 වටයේ පැවැත්වෙන තරග හයෙන් තරග පහක්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, තරගාවලියේ අවසන් මහා තරගයද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල කොළඹට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණ විකල්ප ස්ථාන ලෙස යොදාගැනීමට අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.