2023 ආසියානු කුසලානය අගෝස්තු 31වැනිදා සිට සැප්තැම්බර් 17වැනිදා දක්වා පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් සම්මේලනය (The Asian Cricket Council) අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය යන රටවල කණ්ඩායම් එක්දින තරග 13ක් මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කරන බවද ආසියානු ක්‍රිකට් සම්මේලනය සඳහන් කළේය.

තරගාවලියේ තරග 04ක් පාකිස්තානයේ පැවැත්වෙන බවත්, ඉතිරි තරග 09 ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බවත්, ඒ අනුව තරගාවලිය හයිබ්‍රිඩ් මාදිලියේ සත්කාරකත්වයක් දරනු ලබන බවත් එම සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

තරගාවලියට ක්‍රීඩා කරන රටවල් කාණ්ඩ දෙකකට බෙදා එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් සුපිරි හතර දෙනාගේ අදියර සඳහා සුදුසුකම් ලබාගන්නා බවත්, සුපිරි 04 දෙනාගේ වටයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පසුව අවසන් මහා තරගයට මුහුණ දෙන බවත් ආසියානු ක්‍රිකට් සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.