ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය දරන තරගවල ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම අදියර 02ක් යටතේ අද සිට ආරම්භ වේ. ඒ අනුව ශ්‍රී ලංකා තරග සඳහා පළමු අදියරේ ප්‍රවේශපත්‍ර මෙරට වේලාවෙන් අද පස්වරු 12.30ට සිට අලෙවි කිරීම ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන තරගවල ප්‍රවේශපත්‍ර අලෙවියේ දෙවැනි අදියර අද පස්වරු 7.00 සිට ආරම්භ වේ. සැප්තැම්බර් 02වැනිදා පැවැත්වෙන පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ ප්‍රවේශපත්‍රද මීට අයත්. සියලු ප්‍රවේශපත්‍ර pcb.bookme.pk වෙඩ් අඩවිය මගින් ලබාගත හැකිය.

ටිකට්පත් මිලදී ගැනීමේදී එක් හැඳුනුම්පතකින් හෝ ගමන් බලපත්‍රයකින් ප්‍රවේශපත්‍ර 04ක් දක්වා මිලදී ගත හැකි අතර, පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයේදී එක් හැඳුනුම්පතකින් හෝ ගමන් බලපත්‍රයකින් ප්‍රවේශපත්‍ර 02ක් දක්වා මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය මෙම මස 31වැනිදා බංග්ලාදේශය සමඟින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ‘ඒ’ කාණ්ඩයෙන් පාකිස්තානය, ඉන්දියාව සහ නේපාලයද ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයද තරග කරනු ලබයි.