ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි ඉසව්ව සහ මීටර් 100 කාන්තා ඉසව්ව යන ඉසව් ද්විත්වයම ජය ගැනීමට චීන ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් සමත් වූහ. ඒ අනුව මෙවර ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව චීනයෙන් බිහි විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගය තත්පර 9.97කින් නිමාකර ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට චීනයේ සෙන්යේ ක්ෂී සමත් වූ අතර, මීටර් 100 කාන්තා අවසන් තරගය තත්පර 11.22කින් අවසන් කර එම ඉසව්ව ජය ගැනීමට චීනයේ ජී. මැන්කි සමත් විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා ඉසව්වේ තරගාවලි වාර්තාව තවමත් පවතින්නේ ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහටයි. ඇය 2002 වසරේදී එම ඉසව්ව තත්. 11.15 අවසන් කරමින් එම වාර්තාව පිහිටුවීය.