ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්, යුක්‍රේන යුද්ධය ආසියා – පැසිෆික් කලාපය දක්වා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ නේටෝ සංවිධානය දැනටමත් ආසියා පැසිෆික් කලාපය තුළ සිය හමුදා බලය රහසිගතව ගොඩනංවමින් සිටින බවය.

ආසියා පැසිෆික් කලාපයේ අවි තරගය උත්සන්න කිරීමට කටයුතු කරන නේටෝ රටවල්, කලාපයේ සිය හමුදා පැවැත්ම මෙන්ම යුධ අභ්‍යාසද ඉහළ නංවා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර තිබේ.