හංගේරියාවේ බුඩපෙස්ට්හි පැවැති 19වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත් විය. ඒ පදක්කම් සටහනේ පෙරමුණ ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිකර දෙමිනි. ඇමෙරිකාව රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 08ක් සහ ලෝකඩ පදක්කම් 09ක් සමගින් සමස්ත පදක්කම් 29ක් දිනාගැනීමට සමත් විය.

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය කැනඩාව හිමි වූ අතර, ඔවුන් රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 02ක් සමගින් සමස්ත පදක්කම් 06ක් දිනාගැනීමට සමත් වූහ. තෙවැනි ස්ථානය ස්පාඥ්ඥයට හිමි වූ අතර, ඒ රන් පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 05ක් හිමිකර ගනිමිනි.

මෙවර තරගාවලියට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ.ඉන් අවම වශයෙන් රටවල් 46ක්ම කුමන හෝ පදක්කමක් දිනා සිටීම සුවිශේෂීය.