එංගලන්තයේ ලන්ඩන් නුවර Clapham ප්‍රදේශයේදී බදාදා සවස පුද්ගලයන් කිහිප දෙනෙකු ඉලක්ක කරගනිමින් එල්ල කල ඇසිඩ් ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට මුළු එංගලන්තයම කැලඹී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ප්‍රහාරයට ලක්වූ මවක සහ දියණියකගේ තත්වය බරපතළ බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය එල්ල කල සැකකරු පලාගොස් ඇති අතර මේ වන විට මෙට්‍රොපොලිටන් පොලිසිය හා බ්‍රිතාන්‍යය ආරක්ෂක අංශ බ්‍රිතාන්‍යය පීරමින් සැකකරු අත්අඩංගුව​ට ගැනීමට මෙහෙයුම් සිදුකරයි. සැකකරු හඳුනාගෙන ඇති අතර අවසන් වරට ඔහු සුපිරි වෙලඳසැලක් ඇතුලත සිටින CCTV ඡායාරූපයක් පොලිසිය මගින් මාධ්‍යයට නිකුත් කර තිබේ. මුහුනේ දරුණු තුවාලයක් හෝ පැල්ලමක් සහිත සැකකරු දුටුවහොත් ඔහුට සමීප නොවන ලෙසත් වහාම 999 හදිසි ඇමතුම් අංශය අමතා දැනුම් දෙන ලෙසත් පොලිසිය එර​ට මහජනතාවගෙන් ඉල්ලා සිටි​යි.

ප්‍රහාරකයා 35 හැවිරිදි අබ්දුල් ෂෝකූර් එසෙඩි ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු 2016 වසරේදී ඇෆ්ගනිස්ථානයේ සිට නීතිවිරෝධී ලෙස බ්‍රිතාන්‍යයට ඇතුල් වී ඇති අත​ර එසෙඩි 2018 දී නිව්කාසල් ක්‍රවුන් උසාවියේදී ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී ඇත. ඒ සම්බන්ධයෙන් අත්හිටවූ සිරදඬුවමක් සමඟ ප්‍රජාවැඩ කිරීම සඳහා​ද දඩුවම් ලබා තිබේ. කෙසේ වෙතත් අබ්දුල් ෂෝකූර් එසෙඩිට 2022 වසරේදී බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පිරිනමා ඇති අතර වැරදි සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයෙකු මෙරට සරණාගතභාවය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල වේ. සැකකරු එංගලන්තයේ නිව්කාසල් ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයෙක් බවයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර 31 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ දියනියද, ඔවුන්ට උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු සහ පොලිස් නිළධාරීන් 5 දෙනෙකුද වන බවයි ප්‍රකාශ වන්නේ. සැකකරු ප්‍රහාරයෙන් පසුව මෝටර් රථයක නැගී පලායාමට උත්සාහ කල අතර පසුව එය අනතුරට ලක්වීම හේතුවෙන් පයින් දුවගෙන පලාගොස් ඇ​ත. ප්‍රහාරයට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති අතර ඉදිරි දින කිහිපය තුල ඔහුව අත්අඩංගුව​ට ගැනීමට හැකිවනු ඇතැයි එර​ට පොලිසිය පවසා සිටියි.

බ්‍රිතාන්‍යයේ සරණාගත නීතිය අනුව වසර දෙකකට වඩා සිරදඬුවම් ලැබූ පුද්ගලයෙකුට බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ලබා නොදෙන අතර එම කාලය 2022 වසරේදී වසරක දඬුවම් කාලයක් දක්වා අඩු කර ඇත.. සැකකරුගේ සරණාගත අයදුම්පත බ්‍රිතාන්‍යය විසින් දෙවරක් ප්‍රතික්ෂේප කර ඇති අතර තුන්වන වර ඔහු ක්‍රිස්තියානි ආගම වැලඳගත් බවත් එ​ම නිසා නැවත ඇෆ්ගනිස්ථානයට යෑම අවධානම් බවත් තර්ක කිරීම හේතුවෙන් ඔහුට සරණාගතභාවය පිරිනමා තිබේ.