ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයග්‍රණයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය.

මෙම තරගය නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැති අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 272ක් රැස්කර කිරීමට සමත් විය. එහිදී නායක හෂ්මතුල්ලා ෂහීදී ලකුණු 80ක් සහ අෂ්මතුල්ලා ඕමර්සායි ලකුණු 62ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 39කට කඩුලු 04ක් සහ හර්දික් පාන්ඩ්‍යා ලකුණු 43කට කඩුලු 02ක් දවා ගත්හ.

අනතුරුව ලකුණු 273ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 35 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා ලකුණු 131ක් සහ විරාට් කෝලි ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය.