ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පෙරේදා රාත්‍රියේ පැවැති තරගය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවය පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 292ක් රැස් කළේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 04 වටයට සුදුසුකම් ලබාගැනීමට නම් පන්දුවාර 37.1කදී එම ඉලක්කය හඹා යා යුතු විය. කෙසේ වෙතත් තරගයේ පන්දුවාර 37.1 පන්දුවකදී ඇෆ්ගනිස්තානයට කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 290ක් පමණි. කෙසේ නමුත් තවත් පන්දු 03ක් තුළ 06 පහරක් එල්ල කරහොත් ඇෆ්ගනිස්තානයට සුපිරි කණ්ඩායම් 04 වටයට පිවිසීමට අවස්ථාව පවතින බව විස්තර විචාරකයන් පැවසීය.

නමුත් පිටියේ සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී සිට නොමැත. ඒ අනුව මෙම කාරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවත්, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් මේ කරුණ සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව කටයුතු කර ඇති බව ඔප්පු වුවහොත් ඔවුන්ට දඬුවම් කරන බවත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ.