ඉදිරි මාස 06 තුළ ශ්‍රී ලංකාව තුළ අපරාධ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩලීමට සැලසුම් ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් පවසන්නේ, පසුගිය කාලයේ වාර්තා වූ සංවිධානාත්මක අපරාධවලින් වැඩි සංඛ්‍යාවක් විදේශයන්හි වෙසෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදුකරන ලද ඒවා බවට තොරතුරු ලැබී ඇති බවය.

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බව ද ඔහු පවසා ඇත.

ඉතා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් හරහා මාස හයක පමණ කාලයක් තුළ මෙම සංවිධානාත්මක කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පාලනය කිරීමටත් පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

‘පසුගිය කාලයේ දකුණේ වාර්තා වූ සංවිධානාත්මක අපරාධ කිහිපයක්ම සැලසුම් කර ක්‍රියාත්මක කළේ විදේශයන්හි වෙසෙන කුඩු ජාවාරම්කරුවන් විසින්. ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් මේ වන විට ශ්‍රී ලංකා පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා. ඔවුන් විදේශයකදී අත්අඩංගුවට ගෙන නැවත ශ්‍රී ලංකාවට ගෙන ආවා.ඔබේ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට තර්ජනය කර ඔවුන්ගෙන් කප්පම් ගන්නා පිරිසක් සිටිනවා. ඔබේ ප්‍රදේශයෙන් එවැනි පුද්ගලයන් පිළිබඳව පොලිසියට දන්වා පොලිසියට ඔබේ සහය ලබාදෙන්න’