උද්ධමනය පහළ ගිය ද ඇතැම් භාණ්ඩවල මිල අඩු නොවීමට පිළියමක් ලෙස ඉදිරි සති කිහිපය තුළ මිල පාලනය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සිදුවනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත.

‘ස්ථාවර රටකට සැවොම එකමඟකට’ මැයෙන් රජය මගින් පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා ඊයේ (22) මෙසේ පවසා තිබේ.

කෙසේවෙතත් ඉදිරි සති කිහිපය තුළ පාලන මිලත් ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදන ද ආ හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් යළි ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණ ද ටයිල් ආනයනයට එමගින් අවසර ලබා දී නොමැති බව ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර ඇත.