ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉන්දීය සම්භවයක් සහිත කඳුකර ජනතාවගේ සෞඛ්‍ය හා අධ්‍යාපන හා යටිතල පහසුකම් නඟා සිටුවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුපියල් මිලියන 3000 ස ආධාර මුදලක් ලබාදිමට පොරොන්දු වූ බව ජල සම්පාදන හා වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දියාවේ දෙදින නිල සංචාරයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්දීය රජය විසින් ලබාදෙන මෙම මුදලින් කදු කර විශ්ව විද්‍යාලයක් ඉදි කිරීමටත් මුදල් අයෝජනය කිරීමට අපේක්ෂා කරන බවද විශේෂයෙන් තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා පැවැත් වූ සාකච්ඡා ඉතාමත් සාර්ථක බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ.

‘කදුකරයේ ජීවත් වන දෙමළ ජනතාව පිළිබද කතා කිරීමේ ඔවුන්ට තිබෙන පළමු ගැටලුව වන්නේ නිවාස ගැටලුවයි. ඔවුන්ට නිවාස ඉදිකරදී යටිතල පහසුකම් ලබාදීම කළ යුතුයි. එමෙන්ම දියුණු අධ්‍යාපන පද්ධතියක් ඇති කළ යුතු වෙනවා. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක කාලයක් ගතව තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ මෙරට සමාජ, සංස්කෘතික වටිනාකම් පිළිබිඹු කරන උත්සවයක් ලබන නොවැම්බර් මාසයේදී පැවත්වීමට නියමිතයි. එම අවස්ථාවට ඉන්දියාවේ විශේෂ නියෝජිතයෙක් මෙරටට පැමිණෙනු ඇතැයි අපෙක්ෂා කරනවා.’

රජිනි මෙන්ඩිස්