සැප්තැම්බර් 18 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයේදී ඉන්දියාව ‘භාරත්’ ලෙස නම් කිරීමේ යෝජනාවක් රජය විසින් ගෙනඒමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

India Today වාර්තා කර ඇති ආකාරයට, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට රට හඳුන්වන ‘ඉන්දියාව’, ‘භාරත්” ලෙස සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබේ.

එමෙන්ම සති අන්තයේ පැවැත්වෙන G-20 සමුළුව හා සමගාමීව සූදානම් කර ඇති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා යවා ඇති ආරාධනාපත්වල President of India වෙනුවට President of Bharat යනුවෙන් සඳහන්ව තිබීමත් සමග, ඉන්දියවේ නිල නාමය වෙනස් කිරීමේ සූදානමක් ගැන විශාල ආන්දෝලනයක් මතුව තිබෙන බව ද වාර්තා වේ.