බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 05කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තෙවැනි තරගය ඊයේ රාත්‍රියේ පැවැත්විණි. එම තරගය කඩුලු 07කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය. මෙම තරගයේ ජයග්‍රහණය ඉන්දියාවට අත්‍යවශ්‍ය වූ අතර, පළමු තරග 02ම කොදෙව්වන් ජයගත් නිසා තරගාවලියේ රැඳීසිටීමට නම් මෙම ජයග්‍රහණය ඉන්දියාව ලබාගත යුතුව තිබිණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 159ක් රැස් කළේය. එහිදී කොදෙව්වන් වෙනුවෙන් Brandon King ලකුණු 42ක් සහ නායක Rovman Powell නොදැවී ලකුණු 40ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 160ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.5ක් අවසාන‌යේ කඩුලු 03ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළේය. එහිදී Suryakumar Yadav ලකුණු 83ක් සහ Tilak Varma නොදැවී ලකුණු 49ක් රැස් කළහ. පන්දු යැවීමේදී Alzarri Joseph කඩුලු 02ක් බිඳහෙළීය.

මේ අනුව තරග 05කින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස තවමත් පෙරමුණ පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.