මෙම වසරේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය සුදුසුකම් ලබාගනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අනාවැකි පළ කළේය.

ඔහු මේ බව පවසා සිටියේ 2023 ලෝක කුසලානයේ නිල තරග කාලසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. ලෝක කුසලානයේ නිල තරග කාලසටහන එළිදැක්වීමේ අවස්ථාවට මුරලිදරන්ට සහ හිටපු ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ට ආරාධනා කර තිබුණි.

“එංගලන්තය දැන් හොඳට ක්‍රීඩා කරනවා. ඔවුන් ටෙස්ට් ක්‍රිකට් පවා එක්දින තරඟ ලෙස ක්‍රීඩා කරනවා. මගේ අදහස නම් ඉන්දියාව සහ එංගලන්තය අවසන් තරඟයට ක්‍රීඩා කරන බවයි” යනුවෙන් මුරලි පැවසීය.

කෙසේ වෙතත්, නොවැම්බර් 19වැනිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව සහ පාකිස්තානය තරග කරනු දැකීම ඔහුගේ ප්‍රාර්ථනය බවද මුරලි සඳහන් කළේය.

“පකිස්තානයද හොඳ කණ්ඩායමක් නමුත් අනාවැකි කිව නොහැකියි. ඕනෑම දිනක ඔවුන්ට තවමත් උද්වේගකර තරගයක් ක්‍රීඩා කළ හැකියි. ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරගය ක්‍රීඩා කර ක්‍රීඩාලෝලීන් සතුටු කරනු දැකීමට පෞද්ගලිකව මම කැමතියි” යනුවෙන්ද මුරලි පවසා සිටියේය.

ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පැමිණෙනු ඇතැයි ෂෙවාග් විශ්වාස කරන අතර ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇතැයි යනුවෙන් ඔහු අනාවැකි පළ කළේය.

ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ.