දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමටද සංචාරක ඉන්දීය කණ්ඩායමට හැකි විය.

තරගය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අතර, තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී තරගය ජය ගැනීම සදහා ලකුණු 79ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 03ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 176කි. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඒඩ්න් මාක්‍රම් ලකුණු 106ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 61කට කඩුලු 06ක් දවා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණි. පිළිතුරු ලෙස ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 153කි.

මෙම තරගය ඩීන් එල්ගර්ගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය විය.