ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති 05වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව විස්සයි-20 තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමටද කොදෙව්වන්ට හැකි විය.

ෆ්ලොරීඩාහි ලොඩර්හිල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 165කි. එහිදී සූර්ය කුමාර් යාදව් ලකුණු 61ක් සහ තිලක් වර්මා ලකුණු 27ක් රැස් කළහ. පන්දු යැවීමේදී රොමාරියෝ ෂෙපඩ් ලකුණු 31කට කඩුලු 04ක් දවාගත්තේය.

අනතුරුව ලකුණු 166ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර 18කදී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිංග් නොදැවී ලකුණු 85ක් සහ නිකලස් පූරන් ලකුණු 47ක් රැස්කරමින් කොදෙව්වන් ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

අවසන් තරගයේ වීරයා සම්මානය රොමාරියෝ ෂෙපඩ්ට හිමිවූ අතර, තරගාවලියේ වීරයා සම්මානය නිකලස් පූරන්ට හිමි විය.