ඊශ්‍රායල සහ පලස්තීන හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු විපතට පත්ව තිබේ.

ඒ අතරින්, එක් කාන්තාවක තුවාල ලබා ඇති බවට ඊයේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළ අතර තවත් එක් පිරිමි පුද්ගලයෙකු ද අතුරුදන්ව තිබිණි.

තවත් ශ්‍රී ලාංකික කාන්තාවක ද අතුරුදන් වී ඇති බව ත් එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා මේ වන විට පියවර ගෙන ඇති බව ත් එම අමාත්‍යංශය සඳහන් කර ඇත.

ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වෙති.

ඒ අතරින් බොහෝ පිරිසක් එරට අගනුවර වන ටෙල්අවීවි, ජෙරුසලම සහ හයිෆා යන නගර කේන්ද්‍ර කරගනිමින් ජීවත් වන බව ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැන +94716640560 සහ 1989 අංකයෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා තිබේ.

පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග 2007 වසරේ සිට ආතතීන් හමුවේ පැවති ගාසා තීරය යළි යුධමය වශයෙන් සක්‍රිය කලාපයක් බවට පත් විය.

රොකට් 5,000ක් පමණ යොදා ගනිමින් හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කර තිබිණි.

එම ප්‍රහාරයෙන් පසුව යුධමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායලය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ගැටුම් හේතුවෙන් මේ වන විට ඊශ්‍රායලයේ 700කට අධික පිරිසක් මියගොස් ඇති අතර ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 500කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.