“ඇමෙරිකන් XL බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවත් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත.

එම වර්ගයට අයත් සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරය හේතුවෙන් අද පුද්ගලයෙකු මිය යාමත් පසුගිය සතියේ දිනයක 11 හැවිරිදි දැරියකට එම වර්ගයේ සුනඛයෙක් පහරදීමත් හේතුකොට ගෙන මෙම තීරණය ගන්නා බවයි බ්‍රිතාන්‍යය අගමැති ප්‍රකාශ කර තිබේ.

එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා තිබේ.

එක්සත් රාජධානියේ අන්තරායකර සුනඛ පනත යටතේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඇතැම් පිරිස් එම තීරණයට විරෝධය දක්වා ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් එරට ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසා ඇත්තේ, මේ වන විට මෙම සුනඛයින් ඇති කරන පිරිසට එම සුනඛයින් මියයන තුරු දැඩි නීති රෙගුලාසි හමුවේ රැක බලාගත හැකි බවය.

එමෙන්ම එම වර්ගයේ සියලුම සුනඛයින් වදභාවයට පත්කළ යුතු බවත් ඔවුන් නිවසින් පිටතට රැගෙන යන සෑම විටකදීම මුඛවාඩම් පැලඳවීම අනිවාර්යය බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

බ්‍රිතාන්‍යයේ දැනටමත් “අනතුරුදායක සුනඛයන්” පිලිබඳව පනතක් සමුමත කර ඇති අතර 1991 වසරේදී සම්මත කල එම පනතට අනුව මේ වන විටත් American pit bull terrier, Japanese tosa, Dogo Argentino, Fila Brasileiro යන කාණ්ඩ 4ට අයත් සුනඛයන් ඇති කිරීම, මිලදී ගැනීම හෝ තෑගි දීම තහනම් වන අතර American bully XL යන සුනඛ වර්ගය එම පනත යටතේ තහනම් වන පස්වන බල්ලන් කාණ්ඩය වනු ඇත.

Tosa Inu, Tosa-Ken, Japanese Mastiff

American bully XL තහනම් කිරීම සඳහා එම වර්ගයට අයත් සනඛයන් වෙනම අභිජනන වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගත යුතු අතර එලෙස ඔවුන්ව හඳුනාගෙන නම් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් අදාළ කණ්ඩායම් වලට නියෝග කර ඇත.

තහනම පැනවීමෙන් පසුව දැනට සිටින එම වර්ගයේ සුනඛයන් විනාශ කරනවාද නැද්ද යන්න තවමත් තීරණය කර නැති අතර බොහෝ විට දැනට සිටින සුනඛයන් දැඩි සීමාවන් යටතේ රැකබලා ගැනීමට හිමිකරුවන්ට ඉඩදෙනු ඇත.

එක්සත් රාජධානියේ සුනඛයන් සම්බන්ධ අනතුරු ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

2022 වසරේදී බල්ලන් සපා කෑම නිසා පුද්ගලයන් 8,819 දෙනෙකු රෝහල් ගතවී ඇති අතර එය 2007 වසරේදී 4,699 ක් පමණක් විය.

2022 වසරේදී පමණක් බල්ලන් සපාකෑම නිසා බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී ඇති අතර සුනඛයන් සම්බන්ධ සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් 482 කු දඬුවම් ලබා දී ඇති බව වාර්තා වේ.