අළුබඳුන තරගාවලියේ සිව්වැනි ටෙස්ට් තරගයේ පස්වැනි දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු විය. ඒ අනුව එංගලන්තයට මෙවර අළුබඳුන ජයග්‍රහණය කිරීමේ සිහිනයද වැස්සට බොඳවී ගියේය. මේ වනවිට තරග 2-1ක් ලෙස අළුබඳුන තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

සිව්වැනි තරගයේ කාසිය වාසිය දිනා එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර, ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලුම දෙනා දැවී පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 317කි.

එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මානස් ලබුශේන් ලකුණු 51ක් සහ මිචෙල් මාෂ් ලකුණු 51ක් රැස් කළහ. එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝක්ස් ලකුණු 62කට කඩුලු 05ක් බිඳහෙළීය.

අනතුරුව සිය ප්‍රථම ඉනිම ඇරඹූ එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 592ක් රැස් කිරීමට සමත් විය. එහිදී සැක් ක්‍රෝලි ලකුණු 189ක්, ජොනී බෙයාස්ටෝ නොදැවී ලකුණු 99ක් ජෝ රූට් ලකුණු 84ක් රැස් කරමින් එංගලන්ත ඉනිම හක්තිමත් කළහ.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝෂ් හේස්ල්වුඩ් ලකුණු 126කට කඩුලු 05ක් දවාගත්තේය.

ප්‍රතිවාදී පළමු ඉනිමට වඩා ලකුණු 275ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියාව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 214ක් රැස්කරගෙන සිටියේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මානස් ලබුශේන් ලකුණු 111ක් රැස් කළේය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මාර්ක් වුඩ් කඩුලු 03ක් දවා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය එංගලන්තයේ සැක් ක්‍රෝලි දිනාගත් අතර, අළුබඳුන තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් තරගය මෙම මස 27වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

කවිඳු කාරියවසම්