අද උදෑස​න සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පාර්ලිමේන්තුව වට රවුම ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුනි. ඒ, අද (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක​ල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්. ඒ සඳ​හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ඊයේ එම කමිටුව රැස් වූ අවස්ථාවේ හිමිව ඇති බව සඳහන්.

මෙම රැස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ රාජ්‍ය නොවන සංවිධානවල ජාතික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරින් සහභාගී වී ඇති අතර එහි දී ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න සහ චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට සංශෝධන සිදු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බව පෙන්වා දී ඇත.

තවද ​මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු සංශෝධන විය යුතු බ​ව කමිටුවට පෙන්වා දී ඇති අතර මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පත කඩිනමින් සම්මත නොකොට තවදුරටත් කාලය ලබාගැනීම වැදගත් බව ද ඔවුන් අවධාරණය කර ඇත.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුවත් කිරීම සිදු කරන බවයි කාරක සභාවේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත.



|