ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙවර අයවැය සකස් කිරීමේ දී විශේෂයෙන් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදුවූ බවත් 2023 වර්ෂයේ රාජ්‍ය ආදායම ඉලක්ක කළ ප්‍රමාණයට වඩා 16%ක් පමණ අඩු වූ බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ඍණාත්මක වර්ෂයක බලාපොරොත්තු වන ඉල්ලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීම සාමාන්‍යය තත්ත්වයක් වන අතර අයවැය ලේඛනය සකස් කිරීමේදී ප්‍රාථමික ගිණුම ධනව තබාගැනීම වැනි ඉලක්ක සමග ගමන් කිරීමේ දී දැඩි සීමාවකට ලක්වන බවත් ඔහු පෙන්වා දී ඇත.

ඒ වගේම අයවැය හිඟය සමග කටයුතු කිරීමේ දී අදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වූ විට එම හිඟය පියවා ගැනිමට ණය ගැනීමට සිදු වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වර්ෂයේ දී ණය ගැනීමේ ඉඩ බොහෝ දුරට සීමා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙවර අයවැය මැතිවරණ අයවැයක් බවට ඇතැම් අය චෝදනා කර ඇති අතර දැඩි පීඩනයකට ලක්වූ සමාජයක, සියලූ ප්‍රශ්නවලට උත්තර සෙවීමට සිදුව තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සොයා බැලීම අනිවාර්යයක් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.