ඖෂධ සැපයීම වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම සඳහා රුපියල් බිලියන 5.6ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසා ඇත.

ඉදිරි මාස 02 සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් අමතර ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසදුම් ලබා ගැනීමේ අරමුණින් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ අද (27) පැවති විශේෂ සමුළුවට සහභාගි වෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම සමුළුව සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරීවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහභාගී වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.