කටුනායක ආයෝජන වෙළෙඳ කලාපයේ (BOI) කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ත් ඒ සඳහා ආයෝජනය කිරීමට විදෙස් ආයෝජකයන් 11 දෙනෙකු මේ වන විට කැමැත්ත පළ කර ඇති බවත් සංචාරක රාජ්‍ය ඇමති  ඩයනා ගමගේ පවසා ඇත.

මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඉදිරි වසර දෙක තුන පමණක් රුපියල් බිලියන 5කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි බව ද ඇය ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම  සමස්ත ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී ඇති බව ද ඇය  එහිදි සඳහන් කර ඇත.

කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කරන ලද විද්වත් කමිටුව නිකුත් කළ වාර්තාව ඔස්සේ මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලබාදී ඇති බව ද ඇමතිවරිය පවසා තිබේ.

පසුගිය සමයේ මෙම ව්‍යාපෘතිය නිලධාරීන් අතර පැවති ගැටුම්වලින් විනාශ වූ නමුත් මෙවර එය අසාර්ථක වීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බව ද ඇය අවධාරණය කර ඇත.

නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් දෙස් විදෙස් ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති බව ත් ඇය වැඩිදුරටත් සදහන් කර තිබේ.