දිස්ත්‍රික තුනක එළවළු සහ වෙනත් බෝග වගා කරන ගොවීන්ට රුපියල් විසි දහසක් වටිනා පොහොර නොමිලේ ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය(Qatar Charity) කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

කුරුණෑගල, මොණරාගල හා මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකකට වඩා අඩු බිම් ප්‍රමාණයක එළවළු හා සෙසු වගා කරන ගොවීන්ට මෙම ආධාරය හිමි වේ.

මෙම දිස්ත්‍රික්ක වල අඩු ආදායම් ලබන ගොවීන් 3000ක් තෝරා ගෙන රුපියල් 20000ක් බැගින් පොහොර ලබාදෙන බව කටාර් පුණ්‍යායතනය කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී ඇත.

මේ සම්බන්ධ සාකච්ඡාවක් Qatar Charity ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු Tharick Mansoor ගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ වගා කන්න කිහිපයක දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය මුල්‍ය හා ද්‍රව්‍යමය සහන ලබා දුන්නද එළවළු හා අනෙකුත් බෝග වගා කරන ගොවීන් සදහා සැලකිය යුතු මට්ටමේ සහන දීමට නොහැකි වූ බැවින් ඔවුන්ට මේ ආධාරය ලබා දෙන බවය.