සම්මතයන්ට පිටින් හැදෙන හැම බැඳීමක්ම වනචර නැහැ.සමහර ඉසියුම් මානුෂික හැගීම් වනචරයි කියන්න තරම් අපි හදිස්සි වෙන්න උවමනාත් නැහැ.

“රන් කෙන්දෙන් බැද අතැඟිලි එක් කළ ආදරයයි” කියලා ඇහෙන කොටම අපි දන්නවා,මේ ගැයෙන්නේ සම්ප්‍රදායික විවාහ සංස්ථාව ගැන කියලා.සම්ප්‍රදායික වුණත්,ඒක ආදරයෙන් හිස් වුණු ඉසව්වක් නෙවෙයි.හැබැයි ඒ ආදරය ලැබෙන්නෙ යුතුකමක් විදියට.චාරිත්‍රයක් විදියට.ඒක එක්තරා විදියකට පුරුද්දට ගියපු ආදරයක්.

ඊට වඩා වෙනස් ආදර විලාසිතාවනුත් මේ ලෝකෙ තියෙනවා.අන්න එහෙම ආදර විලාසිතාවක් තමයි ඊලග පේලියෙන් අපිට හමුවෙන්නෙ.

“පෙම් රැහැනින් බැද සිතුම් වසඟ කළ ආදරයයි”

මේ ගීතය ඇතුලත් වෙන්නෙ 1976 වර්ෂයේ තිරගත වුණ “දුහුළු මලක්” චිත්‍රපටයට.නීටා ප්‍රනාන්දු තමයි කතා නායිකාව.එයා විවාහක ගැහැණියක්.රූමතියක්.ඇය එක්තරා අනපේක්ෂිත මොහොතක කඩවසම් යව්වනයෙකු හා ප්‍රේමයෙන් බැදෙනවා.

ඒ ප්‍රේමය විචිත්‍රයි.රොමැන්තිකයි.ඒ මිහිරියාවෙන් ඇය දැපනෙ වැටෙනවා.ඒක ආත්මයේ සියුම්ම අංශුව පවා කිති කවන සුළු ප්‍රේමයක්.එක වෙලාවකදි,කිරිල්ලියකගෙ පියාසැරිය තරම් ඇගේ සිතුවිලි සැහැල්ලුයි.හැබැයි ඇගේ ඒ සැහැල්ලු පියාසැරිය වැටිලා තියෙන්නෙම අනතුරුදායක අඩවියකින්.සම්මතයේ සීමා පසුකරන එක පහසු නැහැ.

ඇගේ මනෝරම්‍ය සිතුවිලි ඇතුලෙ විතරමයි ඇයට ඔහුගේ සුන්දර ප්‍රේමවන්තිය වෙන්න පුලුවන්.පොදු සමාජ වහරට අනුව නම් ඇය ඔහුගෙ “හොර ගෑනි”.

ඒ වුණත් “හොර ගෑනියෙක්” වෙන්න වීම ගැන ඇය තුළ අතෘප්තියක් නෑ.ඇයට තියෙන්නෙ ආතතියක්.ඇයට තෝරාගැනීමක් කරන්න බැහැ.ඇයට ඉරත් ඕන.සදත් ඕන.දෙකෙන්ම ලැබෙන්නෙ ආලෝකය.එක ආදරයක් ඉරේ රැස් වගේ සුදුයි.ප්‍රසන්නයි.විශ්වාසයි.අනික් ආදරය සදේ රැස් වගේ,රත්තරන් පාටයි.විචිත්‍රයි.චංචලයි.දෙවිදියටම ඇය ලෝබයි.

ඒ ලෝබකම නිසාම ඇය ඉරකුත් සදකුත් අතර අතරමං වෙනවා.

කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුනා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සදු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජීතයම මගේ

සම්මත ආදර කතාවක් දිහා වුණත් වපරැහින් බලන සමාජයක් “හොර ගෑනියෙකුට” කොහොමත් සමාව දෙන්නෙ නැහැ.එක ගැහැනියකට පිරිමි දෙන්නෙක් අයිති කරගන්නත් බැහැ.ඒක අපි දන්න සංස්කෘතියේ සියලු දර්ශකවලට පටහැනියි.ඒ වුණත් ඇත්ත ආදරයක් මේ කිසිම දර්ශකයක් තකන්නෙ නැහැ.එය හමනවා.ඔහේ හමනවා.නමක් නැති දිශාවකට.පාරක් නැති අනන්තයකට.

මේ ආදර කුණාටුවට හසු වුනාට පස්සෙ ගැහැනිය දුහුළු මලක් ගානට වැටෙනවා.දුහුළු මලක් දැකලා ඇති නෙ.නැත්නම් පුළුන් රොදක් මවාගන්නකො.එතැන ඉදලා මලේ ඉරණම් කතාව ලියන්නෙ කුණාටුව.

ඒ නිසා තමයි ගැහැනිය මෙහෙම ගයන්නෙ.

කණාටු සුළගේ දුහුල් මලකි මා
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ

මේ ගීතය පුරාම අපිට ඇහෙන්නේ දෙලොවක් අතර අතරමං වුණ ගැහැනියකගෙ විදවීම.ශෝකාකූල විදවීම.අසම්මත ආදර කතාවක් නම් ඒක පාපයක් කියල හිතන්නයි අපිට පුරුදු.ඒ වෙනුවෙන් කටු ඉඹුලකුත් වෙන් කරලා තියෙන්නෙ.එත් මට හිතෙන්නෙ නම් ඔය කියන කටු ඉඹුල තියෙන්නෙ අපි නොදන්න නරකාදි අදුරක නෙවෙයි.ඔන්න ඔය කියපු විදවීමම තමයි කටු ඉඹුල.ඔය කියපු මන්ස්තාපයම තමයි කටු ඉඹුල.

ප්‍රේමයේ දිව්‍යමය ප්‍රහර්ෂය වෙනුවට ඇයට අවසානයේ මුණ ගැහෙන්නෙ විදවීමේ කටු ඉඹුල නම් හිතෙන් නැද්ද අපි කොතනක හරි වරද්දගෙන කියලා.ඒක ප්‍රේමයට ආවේණික වරදක්ද?මනුෂ්‍යත්වය ට ආවේණික වරදක් ද?එහෙමත් නැත්නම් වෙනත් දුෂ්ට බලවේගයක වරදක්ද?ප්‍රේමයේ නිසියාකාර සුපුෂ්පිත වීමකට නම් නිසැකවම අපි මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගන්න ඕනෙ.ඔබත් සිතන්න.මමත් සිතන්නම්.

නලින්ද සංජීව ලියනගේ