ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අද දිනයේ අදාළ පැමිණිල්ල යොමු කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් ක්‍රිකට් ආයතනයේ මුදල් පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කර ඇති බැවින් ක්‍රිකට් දියුණු කිරීමට පවතින මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

විගණන වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා රාශියක් හෙළිදරව් වී ඇති බවත්, එම විගණන කෙටුම්පතේ ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක වන්නේ සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා බවත්, ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හෝ ඉදිරියට ගෙනයාමට කිසිදු අදහසක් නොමැති බව පැහැදිලිව පෙනෙන බවත් හේෂා විතානගේ මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කර ඇති පැමිණිල්ල හරහා ක්‍රීඩකයන්ට නිදහසේ දස්කම් දැක්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි.