මෙරට ක්‍රිකට් ගැටලුව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව පිළිබඳ අවධානයෙන් සිටින බවත්, ඉන් අනතුරුව නීත්‍යානුකූල පාර්ශ්වයට තමන් සහාය දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ඉන්දියාවේ ෆස්ට් පෝස්ට් වෙබ් අඩවියේ යූ ටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මාධ්‍යවේදිනිය : අපි දැන් ක්‍රිකට් ගැන කතා කරමු. ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් හොඳින් ක්‍රීඩා කළේ නැහැ. ඔබ ලෝක කුසලාන තරග නැරඹුවාද?

ජනාධිපතිවරයා : ඔව්, මම තරග කිහිපයක් නැරඹුවා. මට සම්පූර්ණ තරගයම නරඹන්න බැරි වුණා. එහෙත් මම තරග කිහිපයක්ම බැලුවා.

මාධ්‍යවේදිනිය : මේ දවස්වල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් බොහෝ දේ කතාවෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඔවුන් අධිකරණයට ගිහින් තිබෙනවා. අයිසීසීය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරලා තිබෙනවා. විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවටත් ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අයිසීසීයට දන්වලා තිබෙනවා මේක සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම් කිරීමක් කියලා.

ජනාධිපතිවරයා : විරුද්ධ පක්ෂය කියනවා ක්‍රිකට් බෝඩ් එක අයිසීසීයට ලියලා ක්‍රිකට් තහනම් කර ගත්තා කියලා. එහෙම හුවමාරු වුණු ලිපි කිහිපයක් පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා තියෙනවා. මම ඉල්ලුවා ඒ ලිපි. මම ඒ ලිපි බලල ඕන තීන්දුවක් ගන්න. ඒ කෙසේ වෙතත් මම දැනගෙන සිටියා අයිසීසීය ශ්‍රී ලංකාව තහනම් කරනවා කියලා. අපට 19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය අහිමි වුණා. ඒකෙන් වුණේ අපේ සංචාරක කර්මාන්තයට ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ රැසක් අහිමි වුණු එකයි. මම අධිකරණ තීන්දුව එනකන් ඉන්නේ මේ සම්බන්ධයෙන් අයිසීසීයට කතා කරන්න. තාමත් අපිට තියෙන්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනත. ඒ පනතෙන් තමයි ක්‍රීඩා අමාත්‍යවරයාට අතුරු කමිටු පත් කරන්න බලයක් ලබාදීලා තියෙන්නේ. එනිසා නව නීති සම්පාදනයට සහ නව ක්‍රීඩා පනතක් සම්පාදනයට අපි කටයුතු කරමින් සිටිනවා.

මාධ්‍යවේදිනිය : ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා වන ජේ ෂාගේ වුවමනාවටද ශ්‍රී ලංකා ක්‍රිකට් දුවන්නේ?

ජනාධිපතිවරයා : එහෙම එකක් නැහැ. මම හිතන්නේ නැහැ ජේ ෂාගේ වුවමනාවටද ශ්‍රී ලංකා ක්‍රිකට් දුවනවා කියලා.

මාධ්‍යවේදිනිය : එහෙනම් ඇයි ඔහුගේ නම මේකට ඈදාගත්තේ?

ජනාධිපතිවරයා : ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරනවා කියලයි. මම ෂා ට කතා කළා, ඒවගේම කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම සම්බන්ධයෙන්. මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය දැකවන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.