ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සිය මුහුණු පොතට අද දිනයේ වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා සිටියේ ක්‍රිකට් ගොඩනැගීම සඳහා තමන්ගේ දායකත්වය ලබාදීමට සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකරත්න ඩිල්ෂාන්,

“මේ වෙනකොට අපේ රටේ වැඩිපුරම කතාබහ වෙන මාතෘකාව තමයි ක්‍රිකට් කියන්නෙ.
ඉතින් අපි පහුගිය තරඟ පරාජයත් එක්ක සෑහෙන්න ක්‍රිකට් ගැන කතා කළා. අපේ ක්‍රිකට් සෑහෙන්න පල්ලෙහාට ගිහින් තියෙනවා. ඉතින් හිටපු නායකයෙක් හැටියට මටත් ලොකු ගැටලුවක් තියෙනවා ඇයි මෙච්චර සුළු කාලයක් ඇතුළත අපේ ක්‍රිකට් ඇයි මෙච්චර පල්ලෙහාට ගියේ කියන එක.

හැබැයි සෑහෙන්න තරුණ දක්ෂ ක්‍රීඩකයො ඉන්නවා ඒගොල්ලොන්ට හරි මාර්ගය පෙන්වනවා නම්, මම හිතනවා නැවතත් අපේ ක්‍රිකට් හරි තැනට ගේන්න පුළුවන් කියලා. විශේෂයෙන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ කරන සියලුමදෙනා කොච්චර පැරදුණත් අපේ ක්‍රීඩකයන්ට එදා වගේ හැමදාමත් ආදරේ කරනවා.
විශේෂයෙන් මතක් කරන්න ඕන අර්ජුන අයියා ඉල්ලීමක් කරලා තියෙනවා අපේ රටේ ක්‍රිකට් ගහලා විදෙස් රටවල්වල ඉන්න අයට නැවතත් අපේ රටේ ක්‍රිකට් හදන්න එකතු වෙන්න කියන එක.

මම මේ වෙලාවේ ආරාධනාවක් කරනවා හැමෝටම එකතුවෙන්න අපි අපේ රටේ ක්‍රිකට් හදන්න ශක්තියක් වෙමු. මමත් ලෑස්ති වෙලා ඉන්නවා මගේ උපරිම ශක්තිය යොදවලා නැවතත් අපේ ක්‍රිකට් තිබ්බ තත්ත්වෙට ගේන්න මගෙන් දායකත්වයක් ලැබෙන්න ඕනි නම් මම ඒක අනිවාර්යෙන් කරන්න සූදානමින් ඉන්නවා. අපි හැමෝම එකතුවෙලා අපේ ක්‍රිකට් හදලා ඉදිරියට ගෙනියමු” යනුවෙන් පැවසීය.