2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අවසන් කිරීම සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මේ වනවිට රැස් වී ඇති බව වාර්තා වේ.

දසුන් ශානක නායකයා ලෙස හොඳින් ක්‍රීඩා කර ඇතත් ඔහුගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඔහු දිගටම නායකත්වය දරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ඇතුළු ප්‍රධාන තීරණ කිහිපයක් මෙම රැස්වීමේදී තේරීම්කරුවන් විසින් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක කුසලාන සංචිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ පකිස්තානය තවමත් ලෝක කුසලානයට අදාළ සංචිත ප්‍රකාශයට පත් කර නොමැති එකම කණ්ඩායම් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) කණ්ඩායම් නම් කිරීම හෝ වෙනස් කිරීම සඳහා සැප්තැම්බර් 28වැනිදා දක්වා කාලය ලබා දී ඇති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 26වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බැවින් ඔවුන් පිටත්ව යාමට පෙර ඕනෑම වේලාවක ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට හැකියාව ඇත.

මේ අතර ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ අවසන් අබාධ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුව තවමත් බලාපොරොත්තුවෙන් සිටී.