ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ විදෙස් සංචාර තවදුරටත් අනුමත නොකරන බවත්, කෙසේ නමුත් අතවශ්‍ය කරුණකට විදෙස් රටකට යන්නේ නම් එය ගැටලුවක් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

එමෙන්ම පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා වැඩි මුදලක් වැය කරන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නිලධාරීන්ගේ එක් සංචාරයකට වියදම් සඳහා ලක්‍ෂ ගණන් වැය කරනවා. එය නාස්තියක්. ඒ නිසා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මුදල් දිවයිනේ දිළිඳු පාසල්වල ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යොදවන්න කියලා. නිලධාරීන් විදේශ සංචාර යැවීමට මම තවදුරටත් අවසර දෙන්නේ නැහැ” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් විදෙස් සංචාර සඳහා පිටත්ව යන්නේ නම් ඔවුනට දිනකට ඇමෙරිකානු ඩොලර් 700ක්, යාමට සහ ඒමට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක්, නවාතැන් ගැනීමට තරු පන්තියේ හෝටල් පහසුකම් ඇතුළු දීමනා හිමිවේ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිලධාරීන් 17 දෙනෙකු ඔස්ට්‍රේලියාවේ සංචාරය කර තිබුණි.

කවිඳු කාරියවසම්