ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනුකළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා පියවර ගෙන තිබිණි.

ඒ අනුව නව විනිසුරු මඬුල්ල ඉදිරියේ පසුගිය 16 වනදා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එය අද දින දක්වා කල්තබා තිබුණි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය වන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාවට අනුව එහි කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබිණි.