ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාවට පත් වූයේ ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට හිමිකර දෙමිනි. මෙම තරගාවලියේ දස්කම් දැක්වූ කණ්ඩායම් වෙත ලබාදුන් මූල්‍යමය ත්‍යාගයන් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ශූරතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක මුදලක් ඔස්ට්‍රේලියාවට හිමිව ඇත. එමෙන්ම අනුශූරයන් වන ඉන්දියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් හිමිව තිබේ.

අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 08 බැගින් හිමිව ඇත.

එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට ඇමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිව තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමිව ඇත.