පසුගිය ජුනි 29 වන දා සිට ලොව පුරා තිරගත කිරීම අරඹන ලද, බොලිවුඩයේ තවත් ජනප්‍රිය නළු නිළි යුවලක් වන කාර්තික් ආර්යන් සහ කියාරා අද්වානිගේ රංගනයෙන් හැඩ වූ Satyaprem Ki Katha චිත්‍රපටයේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා යාමට සමත්වී තිබෙනවා. එය, 2023 වසරේ එම සීමාව ඉක්මවා ගිය 8වැනි බොලිවුඩ් සිනමා පටය ලෙසයි වාර්තා වන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 60ක පිරිවැයකින් සජිඩ් නන්ඩියඩ්වාලා, ශරීන් මන්ත්‍රි සහ කිශෝර් අරෝරා විසින් නිශ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය මරාති චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන සමීර් විද්වංස්ගේ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂණය වනවා.

අපූර්ව ප්‍රේමණීය ගීත කිහිපයකින්ම අලංකාරවත් වී ඇති Satyaprem Ki Katha චිත්‍රපටයේ සමස්ත ධාවන කාලය මිනිත්තු 144ක් වන අතර, ඉන් මිනිත්තු 31ක්ම ගීත සඳහා වෙන්ව තිබීම විශේෂත්වයක්. YouTube හි නැරඹුම්වාර මිලියන 616ක් ඉක්මවා ඇති, 2022 වසරේදී නිකුත් වූ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් “Pasoori” නම් ජනප්‍රිය පාකිස්ථානු ගීතයේ නැවත නිර්මාණයක් සමඟින් තවත් ගීත 7ක් චිත්‍රපටයට ඇතුළත් වනවා. චිත්‍රපටයේ සංගීත නිර්මාණය කර තිබෙන්නේ Meet Bros, අන්ජන්, ටානිෂ්ක් බග්චි, මනන් භාරද්වාජ්, පායල් දේව් සහ රෝචක් කෝලි විසින්.

Satyaprem Ki Katha පළමුව නම් කර තිබුණේ, Satyanarayan Ki Katha යනුවෙන්. චිත්‍රපටයේ නාමය නිවේදනය (Title announcement) කිරීමෙන් පසු ඇතිවූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් එහි නම Satyaprem Ki Katha ලෙස වෙනස් කිරීමට නිෂ්පාදකයින් තිරණය කළා. එම තත්වයට හේතුව වී තිබුණේ “සත්‍යනාරායන්” යනු විෂ්ණු දෙවියන් හැඳින්වීමට භාවිතාවන තවත් නමක් වීම හේතුවෙන්. කාර්තික් ආර්යන් (Satyaprem) සමඟ මෙම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑම සඳහා නවක නිළි ශර්වරී වාග් හෝ අනනන්‍යා පාණ්ඩේ තෝරා ගැනීම පිළිබඳව මුලින් අවධානය යොමු කර තිබුණ ද පසුව, කියාරා අද්වානි (Katha) ඒ සඳහා තෝරාගෙන තිබුණා. කාර්තික් සහ කියාරා තිර පෙම්වතුන් ලෙස දකින්නට ලැබෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඊට පෙර ඔවුන් රඟපෑ Bhool Bhulaiyaa 2 (2022) චිත්‍රපටය ද බොක්ස් ඔෆිස් හි අති සාර්ථක වුණා.

පසුකාලීන බොලිවුඩ් චිත්‍රපටවල කාන්තාව සහ ඇය මුහුණදෙන සමාජයීය ගැටළු පිළිබඳව වැඩි වශයෙන් සාකච්ජා කරනු දක්නට ලැබුණු අතර, එය හින්දි සිනමාවේ ඉතා ධනාත්මක නැඹුරුවක් බවට විචාරක ඇගයීමට ලක්වුණා. ස්ත්‍රිය සහ ස්ත්‍රීවාදය (Feminism) මුල්කොට ගනිමින් මෑත කාලීනව බොලිවුඩ් චිත්‍රපට රාශියක් නිර්මාණය වුණා. Kahani (2012), Mardaani (2014), Kahani 2 (2016), Pink (2016), Lipstick Under My Burkha (2017), Mardaani 2 (2019), Thappad (2020), Tribhanga (2021) ඒ අතරින් කිහිපයක් පමණයි. එසේම කාන්තා චරිතාපදාන පාදක කරගනිමින් ද සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයක් පසුගිය කාල සීමාවේ දී නිෂ්පාදනය වනු දකින්නට ලැබුණා.

නමුත් ස්ත්‍රිවාදය පුරුෂයාගේ දෘෂ්ඨි කෝණයෙන් ආමන්ත්‍රණය කර ඇති චිත්‍රපට දක්නට ලැබෙන්නේ Toilet Ek Prem Katha, Pad Man වැනි අතිශය අතලොස්සක් පමණයි. Satyaprem Ki Katha චිත්‍රපටයද අයත්වන්නේ එම ගොන්නට බව පැහැදිලි කළ අධ්‍යක්ෂක සමීර් විද්වංස් වැඩිදුරටත් පවසා ඇත්තේ, “ස්ත්‍රිවාදී ස්වාමි පුරුෂයා” යනු තම සිනමා පටයේ වස්තු බීජය බවයි. පිරිමියාගේ සිතුම්පැතුම් වෙනස් නොවන තාක් ස්ත්‍රිවාදය සාක්ෂාත් නොවන බවත්, ඒ සඳහා පිරිමියා වෙනස් විය යුතු බවත් ප්‍රකාශ කළ ඔහු එම අදහස් පළ කර තිබුණේ India Today සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී.

පසුගිය කාල සීමාවේ නිකුත් වූ සමාජ කතිකාවක් ඇති කරන්නට සමත් වූ Badaai Ho (2018), Maja Maa (2021), Thai Massage (2022) වැනි චිත්‍රපට කිහිපයකම අමතක නොවන චරිතවලට පණ පෙවූ අති දක්ෂ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වන ගිරිරාජ් රාඕ සමඟ බොලිවුඩයේ අති දක්ෂ රංගන ශිල්පිනියක වන සුප්‍රියා පතාක් මෙන්ම, ප්‍රවීණ ප්‍රහසන නළු රාජ්පාල් යාදව් ද Satyaprem Ki Katha සඳහා රංගනයෙන් දායක වනවා.

තම සහකාරියගේ දුක්ඛිත අතීතය පිළීබඳ නොතකමින්, ඇයගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් සටන් කරන ආදරණීය ස්වාමි පුරුෂයෙකුගේ කථා පුවත රැගත් Satyaprem Ki Katha සඳහා ඉතා හොඳ රසික ප්‍රතිචාර මෙන්ම විචාරක ඇගයීම්ද ලැබී තිබෙනවා. IMDB දර්ශකයේ 7.1 ක ඉහළ අගයක් සටහන් කිරීමට සමත් වී ඇති “සත්‍ය ප්‍රේම්” සහ “කථා” ගේ “සත්‍ය ප්‍රේම කථාව” Rotten Tomatoes හි 63%ක ප්‍රතිචාරයක් වාර්තා කර තිබුණා. Bollywood Hungama 3.5/5, Zee News 3.5/5, The Times of India 3/5 වශයෙන් ඉහළ දේශිය විචාරක ඇගයීමක් හිමිකරගෙන ඇති Satyaprem Ki Katha ලොව පුරා රසිකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වනවා.

උමේෂ් ද සිල්වා