Cincinnati විවෘත ටෙනිස් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේදී Carlos Alcaraz පරාජයට පත්කරමින් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට Novak Djokovic සමත් විය. තරගාවලියේ අවසන් ලකුණු සටහන දැක්වුණේ 5-7, 7–6(9–7), 7–6(7–4)  ලෙසයි. ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගය පැය 05කට අධික කාලයක් පැවැත්විණි.

පසුගිය ජූලි මස අවසන් වූ විම්බල්ඩන් ශූරතා තරගාවලියේදී කාලෝස් අල්කරාස් හමුවේ නොවැක් ජෙකොවික් පරාජය වූ අතර ඉන් අනතුරුව මෙම ජයග්‍රහණය නොවැක් ජෙකොවික් විසින් ලබාගැනීම සුවිශේෂීය. මෙම අවසන් තරගයට පෙර නොවැක් ජෙකොවික්ද පවසා තිබුණේ සිය ක්‍රීඩා ජීවිතයේ තමන්ට ඇති අවසාන සහ එකම අභියෝගය අල්කරාස්ව පරාජයට පත් කර දැමීම බවයි.

36 හැවිරිදි වියෙහි පසුවන නොවැක් ජෙකොවික් Cincinnati ටෙනිස් ශූරතාව 2018 සහ 2020 වසරේදී ජයග්‍රහණය කළ අතර, මෙවර එම තරගාවලිය ජයගත්තේ 03වැනි වතාවටයි. මේ අතර ලොව ළාබාලතම ටෙනිස් ශූරයා වන අල්කරාස් Cincinnati විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයට එක්වූයේ පළමු වරටයි.