දිවයින ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේදී හමුවූ කැස්බෑවන් ගැඹුරු මුහුදේ සිදුවු කිසියම් පිපිරීමක් හේතුවෙන් මිය යන්නට ඇතැයි සැක කරන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසා ඇත.

මේවන විට ජා-ඇළ මුහුදු තීරයේ සිට පානදුර මුහුදු තීර ඇතුළත මියගිය කැස්බෑවන් 25 දෙනෙක් සහ ජීවි කැස්බෑවන් දෙදෙනෙකු සොයාගත් බව ද දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙලෙස හමුවූ සියලූම කැස්බෑවන්ගේ මතුපිට කටුව දැඩි ලෙස පිපීරීමට ලක්වීම පිළිබඳ දැඩි අවධානය යොමුව තිබේ.

ඇතැම් කැස්බෑවන් මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මියගොස් ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මියගිය කැස්බෑවන් වැඩි පිරිසක් බටු කැස්බෑවන් වන අතර කොළ කැස්බෑවන් දෙදෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

ධීවර කටයුතුවල නිරත ධීවරයින් විසින් කිසියම් පුපුරණ ද්‍රව්‍යක් යෙදීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේද යන්න සෙවීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය කැස්බෑවන්ගේ සිරුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිය යෑමට හේතුව කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වනජීවි දෙපාර්තමේන්තුව පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ආයතන 04 ක් ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත කඩිනම් වාර්ථාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.