කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය අත්හිටුවීමට තීරණය කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවිජන කොමසාරිස්වරයෙක් විසින් නීතිවිරෝධීව කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධව අද (11) දින මාධ්‍ය ඔස්සේ පළව තිබූ සහ විවිධ තොරතුරු ලැබීම මත, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  අද  ගොවිජන කොමසාරිස් ජනරාල් එච්.එම්.ඒ.එල්. අබේරත්නට උපදෙස් දී තිබේ.

එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවලත් මෙම චක්‍රලේඛය අවභාවිත කර ඇති ද යන්න සොයා බැලීමටත් තීරණය කර තිබෙන අතර, එම තත්ත්වය වළක්වාලීම සඳහා අදාළ චක්‍රලේඛය වහාම සංශෝධනයක් සිදු කිරීමටත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

 කෙසේ වුවද අදාළ   නියෝජ්‍ය කොමසාරිස්වරයා සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ‍දැනටමත් කටයුතු ආරම්භ කර ඇත

කුඹුරු ඉඩම් ගොඩ කිරීමේදී කුඹුරු නාම ලේඛනයේ ඇතුළත් නොවන ඉඩමක් කුඹුරක් නොවන විට අවසර ලබා දීමේදී, දිස්ත්‍රික්ක භාරව කටයුතු කරන නියෝජ්‍ය කොමසාරිස්වරුන්හට ඔවුන්ගේ අභිමතය හා නිරීක්ෂණ අනුව කටයුතු කිරීමේ බලය පවරමින්, මින් පෙර චක්‍රලේඛයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේ නිකුත් කර තිබිණි.

 නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙම නියෝජ්‍ය ගොවිජන කොමසාරිස්වරයා එම චක්‍රලේඛය අත්තනෝමතිකව භාවිත කර ඇද්ද යන්න කඩිනමින් පරීක්ෂා කිරීමෙන් පසුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවීම තාවකාලිකව අත්හිටුවීමට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා අද දින තීරණය කරනු ලැබීය.