විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති  ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශනයකට ලක් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර  තීරණය කර තිබේ.

එම  සියලු ව්‍යාපෘති වල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු කරන ලෙස  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්  ජානක ධර්මකීර්තිට උපදෙස් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක් ඇති අතර වැවිලි කර්මාන්ත විෂය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකව පවතී.

විශේෂයෙන් විදේශ අරමුදල් මෙම ව්‍යාපෘති සඳහා ලබා දී ඇත්තේ ණය ආධාර වශයෙන් වන අතර එම මුදල් නැවත අදාල විදේශ නියෝජිතායතන වෙත ගෙවිය යුතුව ඇත.

නමුත් මෙම ව්‍යාපෘති මගින් මුදල් වියදම් කිරීමේ දී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු රැසක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා ගොවි ප්‍රතිලාභ සඳහා  දිය යුතු එම මුදල් නිකරුණේ වියදම් කිරීම මගින් විශාල මුදලක් අපතේ ගොස් ඇතැයි  වාර්තා වී ඇති බව  සඳහන් වේ.

එමෙන්ම මෙම ව්‍යාපෘති බාර නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කමිටු ඉදිරියට කැඳවා කරුණු විමසිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.