ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒත් සමගින් තරග 02කින් යුත් තරගාවලිය තරග 1-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස් කළේ ලකුණු 127ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ විහස් තෙව්මික කඩුලු 05ක් සහ මල්ෂ තරුපති කඩුලු 03ක් බිඳ හෙළුහ.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 326ක් රැස් කිරීමට සමත් විය. එහිදී රුසඳ ගමගේ ලකුණු 58ක් සහ මල්ෂ තරුපති ලකුණු 70ක් රැස් කළහ. කොදෙව්වන් වෙනුවෙන් නේතන් සීලි කඩුලු 04ක් බිඳ හෙළීය.

ඉන් පසුව දෙවැනි ඉනිම වෙනුවෙන් කොදෙව්වන් ලකුණු 277ක් රැස් කළ අතර, එහිදී ජෝඩන් ජොන්සන් නොදැවී ලකුණු 157ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 79ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය ශ්‍රී ලංකාව කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 03ක් පමණක් දැවී පසුකර ගියේය.

දෙරට අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.